පටු අරමුණු වලින් වැලකී, රට වෙනුවෙන් අපි ඡන්දය භාවිතා කරමු.

අවිධිමත් ක්‍රම මගින් දරුවන් පාසල් වලට ඇතුල් කරවා ගැනීම, නියමිත සුදුසුකම් නොසැපිරූ පුද්ගලයින්ට රාජ්‍ය සේවයේ රැකියා හා උසස් වීමි ලබා ගැනීම, නීති විරෝධී ක්‍රියාවන්හී නියැලෙමින් නීතියෙන් වසන් වීමට උදවු ලබා ගැනීම, අනිසි අයුරින් ටෙන්ඩර් ලබාගැනීම වැනි පටු අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් වසර 75 ක් පුරා අපි අපේ ඡන්දය අවභාවිතා කර තිබේ ද ?

අප ඒ සඳහා තෝරාගත් දේශපාලනඥයන්ගේ ජයග්‍රහනය සඳහා අපේ ධනය වැයකර, අපේ සමීපතයන්ගේ ඡන්දය ද ඔවුන්ට ලබා දී ඇත. එබැවින් ලාංකික ජනතාව වන අප අපේ රට මෙම දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික ඛේදවාචකයකට ඇද දැමීමේ වගකීම භාරගත යුතුමය.

ඔලුගෙඩි පෙන්වන මහජන රැස්වීම්, රථ පෙළපාලි, ප්‍රායෝගික නොවන ආකර්ෂණීය පොරොන්දු සහ සැලසුම් සහගතව සිදුකරන සමාජ මාධ්‍ය ප්‍රචාරණ මත ඔබගේ ඡන්දය භාවිතයෙන් වළකින්න. වරදාන වරප්‍රසාද ලබමින් කුමන පක්ෂයක සිටියත් රට වෙනුවෙන් අපේ ඡන්දය නිවැරදිව භාවිතා කරමු.

නැති ද ? යන්න අප ගැන නැවතත් සිතා බැලිය යුතුය.

අපේ සැලසුම්

පවතින දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කර, දැනට රට හා ජනතාව පත්ව ඇති අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ගොඩනැගෙමින්, පවතින සියලු ප්‍රගතිශීලී හා අවංක බලවේග මෙන්ම පොදු මහජනතාව ද සංවිධානාත්මක වැඩපිළිවෙලක් ඔස්සේ එක් පෙරමුණකට එකතු කරගනිමින්. අප රටේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා පාරිසරික යන අංශ වලින්ම දියුණුව කරා ගෙන යෑමට නායකත්වය දිය හැකි පොදු බලවේගයක් ගොඩනගා ගැනීම.

ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට වර්ථමාන දේශපාලන සංස්කෘතියෙන් අත්මිදුණු, පුළුල් දැක්මක් සහිත බුද්ධිමත් වූ, නිර්මාණශීලි වූ, ප්‍රායෝගික වූ, පොදු යහපත සඳහා අවංකව ඉදිරිපත් වන, ඒ සඳහා ක්‍රියාත්මක විය හැකි අපේක්ෂකයන් පුළුල් විද්වත් මංඩලයක් මගින් තෝරා ගැනීම.

මෙරට පාලන බලය පරම්පරා උරුමයක් ලෙස එකම පිරිසකගේ ග්‍රහණයේ තබාගැනීම අවසන් කිරීම සඳහා, පටු පක්ෂ දේශපාලනයට ගැති වී, පුද්ගලික වාසියට පමනක් කටයුතු කරන නිළධාරීන්, වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු සියලු ඡන්ද දායකයන් නිවැරදිව දැනුවත් කර ඔවුන්ගේ ඡන්ද ඉතාමත් සුදුසු අපේක්ෂකයන්ට ලබා දීමට පෙළඹ වීම තුලින් වඩාත් සුදුසු මහජන නියෝජිතයන් බලයට ගෙන ඒමේ කාර්‍යයේ පෙරමුණ ගැනීම.

රාජ්‍ය අංශය සම්පූර්ණයෙන්ම නිර්දේශපාලනීකරණය කර, එහි කාර්‍යක්ෂමතාව, ඵලදායීතාව, නීති ගරුක බව සහ යුක්ති ගරුක බව වර්ධනය කිරීමත්, නිසි නියාමනය සහ ඇගයීම මගින් අකාර්‍යක්ෂම හා දූෂිත ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් බිහිවීමේ ඉඩකඩ අවම කර ගැනීමට කටයුතු කිරීම.

ශ්‍රී ලාංකේය සමාජය සියලු අංශයන් ගෙන් දියුණු නිදහස් රටක් බවට පත් කර ගැනීම සඳහා, විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ස්ථිර පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ඒවා සමාජගත කර යථාර්ථයක් බවට පත්කර ගරනීමට තරුණ තරුණියන් ප්‍රමුඛ සියළු පාර්ශවයන්ගේ දායකත්වය කාර්‍යක්ෂමව හා ඵලදායීව ලබා ගැනීමට කටයුතු කිරීම.   

අපේ මූලධර්ම

01. අපි පොදු යහපත සඳහා ක්‍රියාත්මක වන අතර ධනය, බලය සහ කීර්තිය යන පෞද්ගලික ප්‍රතිලාභ සඳහා දේශපාලනය නොකරන්නෙමු. පොදු යහපත ලෙස අප සලකන්නේ ඔබ සහ අප ඇතුළු සමස්ථ ආර්ථිකයේත්, සමාජයේත්, පරිසරයේත් යහපත සඳහා ක්‍රියාත්මක වීමයි.

02. අප පක්ෂයේ නිලතල ලබා ගන්නා සියලුම සාමාජිකයන් අයථා හෝ සමාජ විරෝධී ආකාරයෙන් ආදායම් ඉපැයීම නොකල යුතු අතර, කිසිදු බෙදුම්වාදයකට, ආගමික හෝ වාර්ගික අන්තවාදයකට හෝ අල්ලස් හෝ දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ නොවිය යුතුය. එසේ වුවහොත් අප පක්ෂය එවැනි අයට විරුද්ධව පක්ෂ ව්‍යවස්ථාවට අනුව තීන්දු තීරණ ගනු ඇත.

03. අපි නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින අතර, වර්ථමාන පාර්ලිමෙන්තුවේ දූෂිත මහජන නියෝජිතයන් සියල්ලන්ම ප්‍රතික්ෂේප කරන්නෙමු.

04. ඉහල සුදූසුකම් සහිත කුසලතාවන්ගෙන් පිරිපුන් පුද්ගලයන් තෝරාගැනීමේදී ඔවුන් වංචා හා දූෂණයන්ට පෙළඹීමට ඇති ඉඩකඩ වලක්වාලීම සඳහා සියලු මහජන නියෝජිතයන්ට ඔවුන්ගේ සේවාවට සරිලන ඉහළ දීමනා සහ වරප්‍රසාද ප්‍රධානය කිරීම අවශ්‍යයැයි අප පිළිගන්නෙමු.

05. කිසිදු දූෂිත මහජන නියෝජිතයෙකුට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප කරමු.

06. පවතින මෙම අසාර්ථක ක්‍රමය වෙනස් කිරීමට සූදානම් වන සහ අපගේ ප්‍රතිපත්තිවලට එකඟ වන ඔිනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු පිළිගන්නෙමු.

07. අපි මෙරට සියලු පුරවැසියන්ගේ අනන්‍යතාවන් එලෙසම පවත්වා ගැනීමට අවශ්‍ය බහුත්ව සමාජ සංකල්පයට ගරු කරමින්, සියලු පුරවැසියන් ශ්‍රී ලාංකිකයන් ලෙස සලකන අතර ආගම, ජාතිය, කුලය සහ ලිංගිකත්වය යනාදී වෙනස්කොට සැලකීම් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නෙමු.

08. ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්තිය සහ මූලධර්ම ක්‍රියාත්මක කිරීමට කැප වන අතර, ජනතා පරමාධිපත්‍ය, නීතියේ ආධිපත්‍ය, රාජ්‍ය වගවීම සහ විනිවිද භාවය පවත්වා ගැනීම අපි ගරු කොට සලකන්නෙමු.

09. අධිකරණය සහ රාජ්‍ය අංශය සම්පූර්ණයෙන්ම නිර්දේශපාලනීකරණය විය යුතු බවත්, යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය විධිමත් විය යුතු බවත්, මහජන නියෝජිතයන් ඇතුළු සැමට නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතු බවත්, අපි තරයේ විශ්වාස කරන්නෙමු.

10. දිළින්දන්, ආබාධිතයන්, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් හො කණ්ඩායම් අගතියට පත් කරන වදන් අපගේ ශබ්දකෝෂයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඔවුන් ද සියලු පුරවැසියන් සමාන ලෙස සමාජයේ පිළිගැනීමට අපි කටයුතු සම්පාදනය කරන්නෙමු.

11. උද්ඝෝෂණ, පෙළපාලි සහ විරෝධතා දැක්වීමට ඇති අයිතියට ගරු කරමින්, එවැනි ක්‍රියාකාරකම් ඇතිවීමට ඇති ඉඩකඩ අවම කර ගැනීමට අපි සෘජුව මැදිහත් වන්නෙමු.

12. ශ්‍රී ලාංකික අනන්‍යතාවයන් ආරක්ෂා කරගනිමින්, තාක්ෂණය ඇතුළුව ගෝලීය වශයෙන් සිදුවන ශුභදායී වෙනස්කම් සඳහා විවෘත විය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු.

13. අපි, පුද්ගල නිදහස, සාමය, සහජීවනය සහ සමාජයේ යහ පැවැත්ම සඳහා කැපවෙන අතර, ප්‍රචණ්ඩත්වය, වෛරී ප්‍රකාශන, පෞද්ගලික ජීවිතයට හානි වන අපහාස සහ මඩ ගැසීම් ප්‍රතික්ෂේප කරන්නෙමු.

14. නිදහස් වෙළඳපොළ ආරථිකය කෙරෙහි විශ්වාසය තබන අතර නිශ්පාදනයට සහ අපනයනයට මෙන්ම සේවා නියුක්තියට සෘජුවම දායකවන ගොවීන්, ව්‍යවසායකයන්, නිශ්පාදකයන් සහ ව්‍යාපාරිකයන් ආර්ථිකයේ වැදගත්ම කොටස ලෙස සලකමින්, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප්‍රවාහනය යනාදී පොදු සේවාවන් සැපයීම රජයේ පූර්ණ නියාමනය සහ වගකීම මත සිදුවිය යුතු යැයි විස්වාස කරන්නෙමු.

15. ගොවීන් ඇතුළු නිශ්පාදකයන්ගේ නිශ්පාදන පිරිවැය අවම කරගැනීම, කාර්‍යක්ෂමතාවය, ගුණාත්මක බව සහ ඵලදායීතාව ඉහළ නංවා ගැනීම සහ නිෂ්පාදන පරිමාණය වැඩිකර ගැනීමට සහය ලබා දීම මෙන්ම නිදහස් වෙළඳපොළ ආරථික ක්‍රමය සැබැවින්ම පොදු යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කරවීම සහ පාරිහෝගික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා රජයට සෘජු වගකීමක් පවතින බව අපි විශ්වාස කරන්නෙමු.

16. එලෙසින්ම දේශීය නිශ්පාදන දිරිගැන්වීමත්, අපනයන ආර්ථිකය සංවර්ධනය කිරීමත් සඳහා අවශ්‍ය රාජ්‍ය සහයෝගය හා දිරි ගැන්වීම ලබාදීමටත් අපි එකඟ වන්නෙමු.

අපගේ දැක්ම හා අරමුණු ඉටුකර ගැනීම සඳහා මූලික වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත කාර්‍යයන්.

01. ශ්‍රි ලාංකේය ජනතාවගේ සහ ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීම තුලින් තවදුරටත් ණය උගුලට හසු නොවී, වර්තමානයේ ඇති උග්‍ර ආර්ථික ආගාධයෙන් ගොඩ ඒම සඳහා උපාය මාර්ගිත සැලසුමක් ක්‍රියාත්මක කිරීම.

 02. දේශීය කෘෂි කර්මාන්තයට, සෙසු කර්මාන්ත අංශයන්ට සහ සේවා සම්පාදන අංශයන්ට මුල්තැන ලබා දෙමින්, මෙරට නිශ්පාදන හා සේවා අංශ දිරිමත් කිරීම සඳහා ආනයන ක්ෂේත්‍රය නිවැරදිව කළමනාකරණය කරමින් දේශීය ව්‍යසායකයින්, ගොවීන් හා ව්‍යාපාරිකයන් කඩිනමින් නගාසිටුවීමේ පහසුකම් සැපයීම.

03. සියලු පුරවැසියන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ ආදායම් ඉපැයීම මග හැරීමකින් තොරව වාර්ථා කරගත හැකිවන අන්දමේ තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කර, ආදායම මත සෘජු බදු අයකර ගැනීම මගින් රජයේ ආදායම ඉහල නංවා ගැනීම.

04. දුප්පත්කමට හා අවධානමට ලක්විය හැකි අය ඉන් මුදා ගැනීම සඳහා කඩිමින් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.

 05. විදේශ විනිමය ඉපයිය හැකි සියලු අංශ ප්‍රවර්ධනය කිරීම.

06.  රාජ්‍ය අංශය සම්පූර්ණයෙන් නිර්දේශපාලනීකරණය කිරීම, සුදුසු පරිදි ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර රාජ්‍ය අංශයේ කාර්‍යක්ෂමතාව ඉහල නංවා ගැනීමට කටයුතු කිරීම සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යසාය ආයතන විධිමත් නියාමනයකට යටත් කරමින් ප්‍රතිසංවිධානය කිරීම හෝ රජයේ පාලනයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම.

 07. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ රජයක් යටතේ කැබිනට් මංඩලය සඳහා තේරී පත්වීමට අපේක්ෂකයෙකු විසින් සම්පූර්ණ කල යුතු සුදුසුකම්, එකී සුදුසුකම් සපුරන ලද කැබිනට් මංඩලය සඳහා නිර්දේශිත සියලු අපේක්ෂකයින්ගේ නාම ලේඛනය සහ යෝජිත වැඩපිළිවෙළ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භයේදීම ජනතාවට ඉදිරිපත් කිරීම.

 08. වරදාන, වරප්‍රසාද අපේක්ෂාවෙන් මංත්‍රීධූරය අවභාවිතා වීම වැලක්වීම සඳහා අප පක්ෂයෙන් ඉදිරිපත් වන මංත්‍රීධූර අපේක්ෂකයන් සමඟ නාමයෝජනා ලබා දෙන අවස්ථාවේදීම අවබෝධතා ගිවිසුමකට එළඹීම.

09. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය තනතුරු අහෝසි කර සෑම අමාත්‍යාංශයක් සඳහාම කිසිදු අමතර වරප්‍රසාද හෝ දීමනා නොලබන තරුණ මංත්‍රීවරුන් දෙදෙනෙකු සහයක මංත්‍රීවරුන් ලෙස පත් කිරීම.

 10. අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින්ගේ කාර්‍ය මංඩලය පත් කිරීමේදී ඥාතීන් පත් කිරීමේ හැකියාව අහෝසි කිරීම සහ සියලු මහජන නියෝජිතයින්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයගේ සහ කාර්‍යමංඩලවල අයගේ වත්කම් විගණනයට ලක් කිරීම සහ වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම.

11. මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරීන් විසින් උපයාගත් ආකාරය හෙලි කර ගත් නොහැකි අවිධිමත් සහ අසාධාරණ ලෙස රැස්කරගත් වත්කම් ඇත්නම් විධිමත් පරීක්ෂණයකින් පසු ඒවා රජයට පවරා ගැනීමට කටයුතු කිරීම.

අප හා එක්ව කටයුතු කිරීමට කැමති වන සියලු සංවිධාන සහ අදාල ක්ෂේත්‍රයන් හි විශේෂඥයින් සමඟ පුළුල් සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් යුතුව සකස්කර ගැනීමට අපේක්ෂිත දිගු කාලීන ප්‍රතිපත්ති.

01 . රටේ ස්වෛරී බවත්, අභිමානයත් ආරක්ෂා වන නිදහස් ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක්.

 02 . මහජන නියෝජිතයන් සහ පුරවැසියන් යන දෙපාර්ශවයටම සමානව ක්‍රියාත්මක වන, පහසුවෙන් යාවත්කාලීන කිරීමේ ප්‍රතිපාදන සහිත සහ කාල වකවානුවට සහ සන්දර්භයට උචිත ලෙස කාර්‍යක්ෂමව නීති ක්‍රියාත්මක කරවීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක්.

 03 . රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට උචිත පසුබිම සකස් කර ගැනීම සඳහා සමාජ සාධාරණය සහ සුභසාධනය සඳහා අවශ්‍ය රාජ්‍ය ආදායම පුළුල් කර ගැනීමට සරල සහ ගැළපෙන කාර්‍යක්ෂම බදු ප්‍රතිපත්තියක්. 

04 . ආහාර සුරක්ෂිතතාව සපුරා ගැනීම, දේශීය කෘෂිකර්මය ආරක්ෂා කර ගැනීම සහ නගා සිටුවීම සහ ප්‍රවර්ධනය සඳහා පුළුල් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක්.

05 . අධ්‍යාපනයේ සම අවස්ථා තහවුරු කරමින්, දැනුමෙන් කුසලතාවයෙන් සහ නිපුනත්වයෙන් පිරි විනයගරුක පූර්ණ පුරවැසියෙකු බිහි කිරීම සඳහා වූ සමස්ථ අධ්‍යාපන පද්ධතිය ආවරණය වන පුළුල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්.

06. සමස්ථ ජනතාවම ආවරණය වන රෝග නිවාරණය, සුව කිරීම, පෝෂණ අවශ්‍යතා සැපයීම ඉලක්ක කොටගත් පුළුල් සෞඛ්‍ය හා ඖෂධ ප්‍රතිපත්තියක්.

07. දේශීය කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ව්‍යවසාය ව්‍යාපාර, ආනයන අපනයන මෙන්ම විදේශ ආයෝජන යන සියලු අංශ ප්‍රවර්ධනයට ඉවහල් වන පුළුල් දේශීය විදේශීය වෙළඳ ප්‍රතිපත්තියක්.

08. සියළුම මහජන නියෝජිතයන්ට සහ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයින්ට අභිමානවත් ලෙස ජීවත් වීම සඳහා වන ගෞරවනීය වැටුප් ප්‍රතිපත්තියක්.  

09. අල්ලස, දූෂණය සහ නිලධාරීවාදයෙන් තොර කාර්‍යක්ෂම, ඵලදායී රාජ්‍ය සේවයක් ඇති කිරීම සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොර වූ, සේවකයන් බඳවා ගැනීමට සහ උසස්වීම් ලබා දීමට හැකි ජාතික රාජ්‍ය සේවා ප්‍රතිපත්තියක්.

 10. පුනර්ජනීය බලශක්තිය සැපයීම ප්‍රවර්ධනය කරමින්, දේශීය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සහ අඛණ්ඩ සේවාවක් සැපයීම සඳහා වන ජාතික බලශක්ති ප්‍රතිපත්තියක්.

11. පරසර හිතකාමී සුවපහසු පොදු ප්‍රවාහන සේවාවක් සඳහා වූ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක්.

12. ශ්‍රී ලංකාවේ සීමිත භූමි සම්පත කෘෂී, වන රක්ෂිත, ජලාශ, ඉදිකිරීම් හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර තිරසර කළමණාකරණය සඳහා ජාතික නිවාස සහ ඉදිකිරීම් ප්‍රතිපත්තියක්.

13. මිනිසා ඇතුළු මිහිතලය මත වෙසෙන සියලු ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරන පරිදි ජලය, වාතය, පස සහ ශබ්ද දූෂණය අවම කරමින් පරිසර පද්ධති සුරැකීම, වර්ධනය සහ අලංකාරය සහතික කිරීම උදෙසා වන කසල කළමනාකරණය සඳහා වන ජාතික ප්‍රතිපත්තියක්.

 14. සිය වෘත්තීය නිපුනතාවන් වර්ධනය කර ගන්නට අවස්ථාව සලසා දෙමින් වැටුප් විෂමතාව අවම කරන කම්කරු ප්‍රතිපත්තියක්.

15. ආහාර සුරක්ෂිතතාවය, ඖෂධ සහ සෞඛ්‍ය පහසුකම් සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ පාරිභෝගික අයිතීන් තහවුරු වන ජාතික වෙළඳ ප්‍රතිපත්තියක්.

16. අවධානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම, දිළිඳුකම තුරන් කිරීම, සමාජ සුභසාධනය සහ ආපදා කළමනාකරණය සම්බන්ධ සියලු ක්ෂේත්‍ර ආවරණය කරන ජාතික සුභසාධන ප්‍රතිපත්තියක්.

17. තාක්ෂණික භාවිතාවන් සහ නව සොයාගැනීම් දිරිමත් කිරීම මෙන්ම ප්‍රමුඛතා මත පදනම්ව වූ ජාතික සංවර්ධන ක්‍රියාවලියේ දී අදාල ආයතන අතර සම්බන්ධීකරණය සඳහා වන ජාතික සංවර්ධන ප්‍රතිපත්තියක්.

18. විදේශ විනිමය ඉපයීම, දේශීය දැනුම හා තාක්ෂණ හුවමාරුව සහ ශ්‍රී ලාංකිකත්වය ලෝකයට ගෙනයාම ප්‍රමුඛ කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා වූ ජාතික උරුම ප්‍රතිපත්තියක්.

19. ළමයින්,යෞවනයන් ඇතුළු පිරිස් මත්ද්‍රව්‍ය භාවිතය සහ සමාජ මාධ්‍ය මගින් සිදුවී ඇති අහිතකර ඇබ්බැහිවීම්, අහිතකර පෙළඹවීම්, බලපෑම් සහ අපහසුතාවයන්ට ලක්වීම් වලින් වළක්වා ගැනීම, මුදා ගැනීම සහ පුනරුත්ථාපනය සඳහා වන ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියක්.

20. සෘජු රාජ්‍ය මැදිහත් වීමෙන් තොර ස්වාධීන ජනමාධ්‍ය නියාමන කොමිෂමක්.

21. ජන සහභාගිකත්වයෙන් යුතුව රටට ගැලපෙන පුර්ණ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම හා පවතින නීති පද්ධතිය යුගයට ගැලපෙන අයුරින් ප්‍රතිසංස්කරණ ක්‍රමවේදයක් ඔස්සේ යාවත්කාලීන කිරීම.

Uploading